පාකිස්ථානයේ වධහිංසා වැළැක්වීමේ නීතිය ක්‍රියාත්මක කිරීමට බාධා

2022 වසරේදී පාකිස්තානය වධහිංසා විරෝධී පනත සම්මත කළද, එය නිසියාකාරව ක්‍රියාත්මක නොවීම, ප්‍රමාණවත් ආරක්ෂණ ක්‍රමවේද නොමැති වීම සහ වගවීමක් නොමැතිකම හේතුවෙන් අමානුෂික සහ පහත් ලෙස සැලකීමේ සිදුවීම් තවදුරටත් සිදුවන බව පාකිස්තාන මානව හිමිකම් කොමිෂන් සභාව අනතුරු අඟවනවා.

‘වධහිංසාවට එරෙහිව’ තේමාව යටතේ පැවැති වටමේස සාකච්ඡාවකදී එම කොමිෂන් සභාව මේ බව පෙන්වා දුන්නා.

යුරෝපීය සංගමයේ සහාය ඇතිව පැවැති මෙම සාකච්ඡාව සඳහා නීති විශාරදයින්, රාජ්‍ය නියෝජිතයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයෝ එක්ව සිටියා.

එහිදී 2022 වධහිංසා සහ අත්අඩංගුවේදී සිදුවන මරණ (වැළැක්වීම සහ දඬුවම් කිරීමේ) පනත ක්‍රියාත්මක කිරීමට ඇති බාධා හඳුනා ගැනීමත්, රටේ වධහිංසා විරෝධී රාමුව බලගැන්වීම සඳහා යෝජනා සකස් කිරීමත් සිදු කෙරුණා.

එහිදී අදහස් දැක්වූ පාකිස්ථාන මානව හිමිකම් කොමිෂන් සභාවේ සාමාජික සහ හිටපු සභාපතිනී හිමා ජිලානි සඳහන් කළේ, මානසික වධහිංසා ඇතුළු අනෙකුත් අමානුෂික හෝ පහත් ලෙස සැලකීම් සහ දඬුවම් වැළැක්වීම ද ශාරීරික වධහිංසා මෙන්ම ඉතා වැදගත් වන බවයි.

ඒ එහි ප්‍රතිඵල ශාරීරික වධහිංසාවලට සමානවම බරපතල සහ දීර්ඝකාලීන විය හැකි බැවින්.

වධහිංසා සහ වැරදි ලෙස සැලකීමේ සිදුවීම් හඳුනා ගැනීම, පරීක්ෂණ පැවැත්වීම, ලේඛනගත කිරීම සහ ක්‍රියාකිරීම සම්බන්ධයෙන් නීතිය බලගන්වන ආයතන වෙත පැහැදිලි පටිපාටියක් සහ ප්‍රායෝගික මාර්ගෝපදේශනයක් නොමැතිව මෙම නීතිය ඵලදායී ලෙස ක්‍රියාත්මක කළ නොහැකි බව‍යි ඇය වැඩිදුරටත් කියා සිටියේ.

එමෙන්ම, වධහිංසා පැමිණවීම් සහ හිංසන සිදු කරනු ලබන්නේ රාජ්‍ය පාර්ශ්වයන්ගෙන් පමණක් නොවන බව පෙන්වා දුන් ඔවුන් එවැනි ක්‍රියා වැළැක්වීම, විපතට පත්වූවන් ආරක්ෂා කිරීම සහ වගවීම තහවුරු කිරීම ‍රජයේ වගකීම බවයි අවධාරණය කළේ.

Similar Posts