මහා පරිමාණ ජාවාරම්කරුවෙක් ගංජා කිලෝ 282ක් සමඟ STF අත්අඩංගුවට

කොස්ලන්ද පොලිස් වසමේ උණකන්ද ග්‍රාමසේවා වසමට අයත් උණකන්ද රක්ෂිත භූමිය තුළ ඊයේ (01) සිදුකළ විශේෂ වැටලීමකදී නීතිවිරෝධී ලෙස සන්තකයේ තබාගෙන සිටි වියළි ගංජා කිලෝ 282 යි ග්‍රෑම් 240 ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා.

විශේෂ කාර්ය බලකා බුත්තල කඳවුරේ නිලධාරීන්ට ලද රහසිගත තොරතුරකට අනුව, එම කඳවුරේ නිලධාරී කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර තිබුණා.

එහිදී එම ජාවාරම සමඟ සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු ගල්වාඩිය, ජූලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙක්.

අත්අඩංගුවට ගත් සැකකරු සහ ගංජා තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොස්ලන්ද පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.