සැකකරුවෙක් ගාල්ල බන්ධනාගාරයෙන් පනී

ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකු අද (02) අලුයම බන්ධනාගාරයෙන් පලාගොස් ඇතැයි බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසනවා.
මෙසේ පලාගොස් ඇත්තේ අම්බලන්ගොඩ කුලීගොඩ ගලගොඩ පදිංචිකරුවෙකු වන අගම්පොඩි දිලීප සම්පත් නමැති සැකකරුවෙක් බවයි බන්ධනාගාරය සඳහන් කරන්නේ.
ගෙවල් බිඳුම් සහ සොරකම් චෝදනා යටතේ බලපිටිය මහේස්ත්රාත් අධිකරණයේ විභාගවන නඩු හතරක් සම්බන්ධයෙන් මොහු ඉකුත් ජුනි මස (22) වනදින සිට බන්ධනාගාර ගතකර සිටි අයෙක් බවයි සඳහන් වන්නේ.
අද (02) උදැසන රැඳවියන්ගේ ලේඛණය පරීක්ෂා කිරීමේදි මෙම රැඳවියා බන්ධනාගාරයේ ආරක්ෂක තාප්පයෙන් පැන පලාගොස් ඇති බවට අනාවරණය වී තිබෙනවා.
මොහු මෙයට පෙර අඟුණකොලපෑලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටියදීද තාප්පයෙන් පැන පලාගොස් ඇති පුද්ගලයෙකු බවටයි හෙළිව ඇත්තේ.
සැකකරු අත් අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතැයි ද වාර්තා වේ.
