අස්වැසුම මුදල් වංචා කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් නිලධාරිනියන් දෙදෙනා රිමාන්ඩ්

අස්වැසුම මුදල් වංචා කිරීමේ සිද්ධියට අත්අඩංගුවටගත් නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරිනියන් දෙදෙනා මේ මස 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඔවුන් හැටන් අධිකරණය වෙත ඊයේ (01) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

වැඩිම අස්වැසුම ප්‍රතිලාභීන් සිටින නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ රුපියල් ලක්ෂ 30 කට ආසන්න මුදලක් වංචා කිරීමේ සිද්ධියටයි මෙම නිළධාරිනියන් දෙදෙනා හැටන් පොලිසිය මගින් පසුගිය දා අත්අඩංගුවට ගෙන තිබුණේ.

මෙම සැකකාරිණියන් දෙදෙනා පසුගිය 2023 වසරේ සිට 2025 යන වසර දක්වා අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මුදල් ඔවුන්ගේ ඥාතීන්ගේ සහ හිතවතුන්ගේ ගිණුමවලට බැර කර ඇති බවටයි සිදු කරන ලද විමර්ෂණවලින් අනාවරණය වී ඇත්තේ.

පසුව එම මුදල් සැකකාරියන් දෙදෙනා විසින් ලබා ගෙන ඇති බව ද සඳහන්.

එමෙන්ම ඔවුන්ට ආධාර අනුබල දුන් තවත් නිළධාරින් තිදෙනෙකුගේ වැඩ තහනම් කිරිමටද බලධාරින් පියවර ගෙන තිබෙනවා.